සභා ඉතිහාසය
ඓතිහාසික පාණදුරා වාදය, නිදහස ලබා ගැනීමේ දී සටන් කළ ශ්‍රේෂ්ඨ දේශප්‍රේමීන් පරිත්‍යාගශීලී වූ දානපතියන්ගේ විශිෂ්ඨ පරිත්‍යාගයන් පසුබිම් කොට ගත් නූතන ජාතික ප්රබෝධයේ මධ්‍යස්ථානයක් වශයෙන් සැලකිය හැකි පාණදුර ප්‍රදේශයේ ජනතාවගේ එදිනෙදා ජීවිතයේ ඉතා වැදගත් කාර්යක් ඉටු කරන පාණදුර නගර සභාවට සියවසකට ආසන්න ඉතිහාසයක් ඇත.
පාණදුර දිස්ත්‍රික් නාගරික සභාව නමින් මෙම ආයතනය මුලින්ම පිහිටවන ලද්දේ 1922 ජනවාරි මස 13 වැනි දින දරණ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ආණ්ඩුකාරවරයාගේ ගැසට් නිවේදනය මඟිනි. ඊට ප්‍රථම පැවතියේ සනීපාරක්ෂක මණ්ඩලය මඟින් හඳුන්වන ආයතනයයි. මෙසේ පිහිට වන ලද දිස්ත්‍රික් නාගරික සභාව 1923 ජනවාරි මස 01 වැනි දින සිය මුල්ම කටයුතු ආරම්භ කළ යුතු බවත් එහි ප්‍රථම රැස්වීම 1923 ජනවාරි මස 04 වැනි දින පස්වරු 2.00ට පාණදුර සනීපාරක්ෂක මණ්ඩල පරීක්ෂකගේ කාර්යාලයේ දී පැවැත්විය යුතු බවත්, යටත් විජිත ලේකම් විසින් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරන ලදී.
ජන්ද කොට්ඨාශ හයකින් සහ නගර සභිකයින් 09 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම ප්‍රථම නගර සභාවේ සභාපති වූයේ දොස්තර ඊ.ඇස් ගුණවර්ධන මහතාය.
මුලින් පිහිට වන ලද පාණදුර නගර සභාව ජන්ද කොට්ඨාශ 06 කින් සමන්විත වුවද පසුව එය කොට්ඨාශ 09 දක්වා වැඩි කරන ලදී. 1922 වසරේ සිට වරින් වර ප්‍රකාශයට පමුණුවන ලද ගැසට් නිවේදන මඟින් නගර සභා සීමාවන් ද පුළුල් කොට ඇති අතර දැනට පාණදුර නගරය මධ්‍යස්ථාන කොට නිවේදන මඟින් නගර සභා සීමාවන් ද පුළුල් කොට ඇත. දැනට පාණදුර නගරය මධ්‍යස්ථාන කොට ගත් වර්ග කිලෝ මීටර් 5.8ක පමණ ප්‍රදේශයක් පාණදුර නගර සභා සීමාවට අයත් වේ.
ඒ අනුව දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන පාණදුර නගර සභාව 1923 සිට මේ දක්වා සභාපතිවරුන් 23ක නායකත්වයක් යටතේ පාලනය විය.
සාමාන්‍ය තොරතුරු
පාණදුර නගරය කොළඔ සිට කි.මී. 25 ක් දකුණු දෙසින් පිහිටි වෙරළබඩ නගරයකි. වර්ග කිලෝමීටර් 5.8 ක භූමි ප්‍රමාණයකින් යුක්තව කොළඔ - ගාල්ල ප්‍රධාන මාර්ගය සම්බන්ධ කොටගෙන ස්ථානගතව ඇති මෙම නගරයේ උතුරු,, නැගෙනහිර හා දකුණට මායිම්ව පාණදුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පිහිටා ඇත. ප්‍රදේශයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මී. 2500 සිට 4000 අතර පවතී. දෛනික උෂ්නත්වය සෙල්සියස් අංශක 27 ක් වේ.
කොළඔ ගාල්ල මහා මාර්ගයේ පිහිටා ඇති මෙම නගරය, උතුරු දෙසට ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ නගරය වන කොළඔ නගරය කරාද, ප්‍රධාන අග නගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඇතුඵ අනෙකුත් නගර දක්වාද, දකුණු දෙසට ගාල්ල, මාතර, හම්බන්තොට, කතරගම දක්වාද, පානදුර - රත්නපුර මහා මාර්ගය මගින් රත්නපුර නගරය දක්වාද යා හැකි විධිමත් මාර්ග ජාලයකින් සමන්විත නගරයක් වේ. එමෙන්ම පාණදුර නගර සභා බල ප්‍රදේශයට ඉතා ආසන්නව එනම් කි.මී. 11.5 ක දුරින් නැගෙනහිර දෙසට වන්නට දක්ෂිණ අධිවේගී මාර්ගය පවතින නිසා වෙනත් කලාපයන් හා පවතින සම්බන්ධතාව වැඩි දියුණු කිරීමට ඉවහල් වනු ඇත.
පාණදුර නගරය කොළඹ - ගාල්ල මහා මාර්ගය මැදිව පිහිටා ඇති අතර, උතුරු දෙසින් මොරටුව නගරයට ද, දකුණු දෙසින් කඵතර නගරයටද, නැගෙනහිර දෙසින් හොරණ නගරයටද, ඍජු ප්‍රවේශයක් සපයයි. පාණදුර ප්‍රදේශයට ජනයා සංසරණය වීමට එක් හේතුවක් වන්නේ මෝදරවිල කර්මාන්ත පුරයයි. රැකියා අවස්ථා 6000 කට ආසන්න ප්‍රමාණයක් එම කර්මාන්ත පුරයෙන් බිහිවී ඇති අතර එමගින් කඵතර දිස්ත්‍රික්කයේ මෙන්ම වෙනත් ආසන්න ප්‍රදේශ වල ජනතාව සදහා රැකියා අවස්ථා බිහි වී ඇත.
තවද ප්‍රදේශයේ තුල ජනප්‍රිය පාසැල් කිහිපයක් වන ශ්‍රී සුමංගල පිරිමි සහ ගැහැණු පාසැල් පාණදුර බාලිකා සහ පාණදුර රාජකීය විද්‍යාලය පිහිටා තිබීම නිසා කඵතර දිස්ත්‍රික්කය තුළ මෙන්ම මොරටුව ප්‍රදේශයේ සිසුන් පවා පාණදුර නගරය වෙත ඇද ගැනීමට හැකියාවක් ලැබී ඇත. නගරය තුල පිහිටා තිබෙන පාසැල් සංඛ්‍යාව 19 කි. එමෙන්ම දුම්රිය සහ බස්රිය යන ප්‍රවාහන මාධ්‍යය දෙකෙන්ම සමන්විත මංසන්ධි නගරයක් බැවින් ප්‍රදේශය තුලට මෙන්ම අනෙකුත් කලාපයන්ට ප්‍රවේශ වීම ඉතා පහසු වී ඇත.